අමුඩය



අමුඩය…..

කෘෂිකාර්මික ජීවන රටාවක් පැවැති මේ දේශයේ වැඩ කරන ජනතාවගේ නිල ඇඳුමක් ලෙසින් පැවත ආ අමුඩය අද අප අතරින් තුරන්වී ගොසිනි. වියළි කර්කශ දේශගුණික තත්ත්වයන්ට උචිත ආකාරයෙන් මෙන්ම චාමි සරල ඇඳුමක් වශයෙන් ද අමුඩය අනාදිමත් කාලයක සිට අපේ අනන්‍යතාවය සුරැකූ ඇඳුමකි.
අතීතයේ ගැමි තාරුණ්‍යය මෙන්ම ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්‍රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා වැඩ බිමේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්‍යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. අමුඩය ගසා ඇඳිවත සුම්බරය කොට හිසේ බැඳගත් තරුණයන් තරුණියන්ගේ සිත් ගැනීම සඳහා සිය යොවුන් දේහය මැනවින් උපයෝගී කර ගත්හ. වැදි ජනතාව අතර පැවැති සිරිතක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට යෝජිත මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.
මෙය අතීත ගම්මානවල තරුණියන් විසින් ද සිය පෙම්වතා වෙනුවෙන් රහසිගතව ප්‍රතිඥා දුන් ආදරණීය තෑග්ගක් ලෙස පැවතිණි. දියකෝනම අමුඩ ලේන්සුව ආදී නම්වලින් හඳුන්වන ලද අමුඩය දුහුල් රෙද්දෙන් නිමාකළ හරි හතරැස් ලේන්සුවකි. අමුඩ ගැසීමේදී ද විලාසිතා කීපයක් අනුගමනය කළහ.
1.හඟල අමුඩය
හඟල අමුඩය ගසන්නේ මාමලා නැන්දලා ආදී වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන හඟලයක් සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි.
2.දිය අමුඩය
දිය නෑම සඳහා අමුඩය ගැසීමේදී විලි වැසී අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. එය දිය අමුඩේ නමින් හැඳින්වෙයි.
3.ගැට අමුඩය
වල් කෙටීම, නියර බැඳීම ආදී කටයුතුවල නිරත වන විට ගැට අමුඩය ගැසීමට ගොවීහු වග බලා ගනිති. හෙවන සහිත ගසක් දිවා ආහාරය ගැනීම සහ තේ බීම, බුලත්විට කෑම ආදී අවශ්‍යතා සඳහා උපයෝගී කරගනී.බුලත්විට කා ගස් සෙවණේ සිට වැඩ කරන තැනට යනවිට ත්‍රිකෝණාකාරව ඉදිරිපසින් ඇති අමුඩයේ කෙළවර දුන්කොළ ටිකක් ගැට ගසාගැනීමට බොහෝ අය පුරුදු වී සිටිති. ටික වේලාවක් වැඩ කරන විට බුලත්විටේ තෘප්තිය හීනවී යන අතර එවිට අමුඩ ගැටේ ඇති දුම්කොළ ටිකක් කටේ දමාගන හපමින් තවත් හෝරා කීපයක් වැඩ කිරීම ඔවුන්ගේ සිරිතකි.
තවද අලුතෙන් ඉදිකරන නිවසක වහලය සෑදීමට ගන්නා උමන් (පරාල ලෙස පාවිච්චි කරන ලී) කැපීමට කැලයට යන පිරිස උමන් කපන විට අමුඩය ගලවා කරේ දමාගෙන නිරුවතින් ලී දඬු කපති. ඔවුන් එසේ කරන්නේ වහලේ උමන් ගුල්ලන් කෑමෙන් ආරක්ෂා කර ගැනීමට කරන කෙමක් වශයෙනි.
අමුඩය හිසේ බැඳගන ගමනක් යන විට ඉන් අදහස් කරන්නේ සිය ගව රංචුව බැලීමට හෝ වෙනත් අවශ්‍යතාවයකට කැලෑ වදින බවයි. එහෙත් අමුඩය කරේ දමාගන යන ගමන රහසිගත හමුවීමක් සඳහා යන ගමනක් බව සැක කෙරේ. අමුඩය ගසා ඊට උඩින් ඇඳිවත හරස් අතට ඇඳගෙන යාමෙන් පැවසෙන්නේ ඔහු වැඩිහිටියන් හෝ වියපත් දරුවන් අසලට යන ගමනක් බවයි.
අමුඩය හා බැඳුණු උපහැරණ අතර “අමුඩය දීලා කෑවා වාගේ” යන කියමන අදට ද ගම්මාන තුළින් ඇසේ. මෙය ගැඹුරු අරුතක් ඇති කියමනකි. බඩගින්නේ නිරාහාරව සිටින අයකු නිරාහාරව සිටින බව කාටත් ප්‍රදර්ශනය නොවේ. එහෙත් නිරාහාරව සිටීමට නොහැකිව අමුඩය විකුණා කුසට අහරක් සපයා ගත් පසුව ක්ෂණිකව කුසගින්න නිවුණත් නිරුවතින් සිටීමේ අවමානයෙන් මිදිය නොහැකිය.
අමුඩ කෙටිය, දිය කෝනම, දිය අමුඩය ආදී නම්වලින් හඳුන්වන අමුඩය ගෘහ මූලිකයාගේ සිට වයස 10-12 දරුවා දක්වාම වැඩ කරන විට උපයෝගී කරගත්හ. කාර්යයක නිරත වන විට නිල ඇඳුමක් වූ අමුඩය අතීත ගැමියා ගමනක් බිමනක් යනවිට යට ඇඳුමක් වශයෙන් ද පාවිච්චි කළහ.
අතීත යුගයේ පිළිගත් පවුල්වල තරුණයන් පාවිච්චි කරනු ලබන අමුඩය මිදුලේ හෝ එළිපහලියේ වනා තැබීම තහංචියක් සේ සලකනු ලැබීය. ඒ අමුඩයෙන් ගන්නා නූලකින් අදාළ තරුණයාට වශී ගුරුකමක් කළ හැකි නිසා එසේ අමුඩය සුරක්ෂිත කළහ.
අසම්මත ගමන් බිමන් යනවිට අමුඩය හොඳ සාකිෂ්කාරයෙක් වූ අවස්ථා ද අතීත ගම්මානවලින් අනාවරණය වෙයි. එක්තරා ගරු ගාම්භීර ගමරාල කෙනෙක් සිය කුලයෙන් පහත් තරුණියක සමඟ ආලයෙන් වෙලිණි. ඔවුන්ගේ හමුවීම ඉතා රහසිගතව කැලෑවේ දී සිදුවූ අතර දිනක් මේ දෙදෙනා මුණගැසී සිටින විටෙක ගමේ වෙනත් ගැමියකුගේ පැමිණීම නිසා හදිසියේ වෙන්ව යාමට සිදුවිය. ගමරාල කඩි කුලප්පුවට දිව යාම නිසා ඔහුගේ කරේ තිබුණු අමුඩය කටු ගාලක පැටලී තිබී කටකාර ගැමියකුට අසුවිය. පසුදින උදේ හන්දියේ පලුගසේ ගමරාලගේ අමුඩය එල්ලා තිබූ අතර ඊට යටින් මේ කවිය ලියන ද කොළය ද අලවා තිබුණි.
කර ආලේ නැහුනත්
කටු බැදි අස්සේ
ගමරාලේ දැන්නම්
රහසක් නැත්තේ
හොර පාරේ ගිය මඟ
සලකුණ ඇත්තේ
කටු ගාලේ තිබු අමුඩේ
පලු අත්තේ
මේ ආදී බොහෝ තොරතුරුවලට පාදක වූ හෙළ ගොවි අමුඩය හෙට දවසේ කෞතුක වස්තුවක් වීමට ඇති ඉඩකඩ ද බැහැර කළ නොහැකිය.




අන්දරේගේ අමුඩ ලේන්සුව

අන්දරේගේ අමුඩ ලේන්සුව ගැන කතාන්දරය අප සෑම දෙනාම අසා ඇතුවාට සැකයක් නැත. එය නොදන්නා අයට සංෂිප්තයක් ලෙස මෙලෙසය. අන්දරේට එක දවසක් පිට්ටු කන්න ආසාවක් ඇතිවිය. ඒහෙත් පිට්ටුව ඔතන්නට රෙදි කැබැල්ලක ගෙයි නොවූ බැවින් තමන්ගේ අමුඩයේම කොනක් ගෙන එම කාර්යය සිදුකරන්නට විය. නමුත් අමතක වී වෙනත් කාර්යක් වෙනුවෙන් කඩිමුඩියේ යන්නට සිටි තැනින් ඉවතට යන්නට ගොස් අකරතැබ්බයකට අන්දරේ මුහුණදීමට සිදුවිය. මෙහි අදහස නම් එකිනෙකට නොගැළපෙන කාර්යයක් වෙනුවෙන්ම එකම ක්‍රමවේදයක් භාවිත කිරීම නිසා ඇතිවන ප්‍රතිඵල ගැනය.


***************************



ගම දුවගේ මගුල් දිනය පැමිණියේය. ගම ගෙදර ඉදිරියෙහි මහත් තොරණකි. ගෙය වියන් බැඳ සියළු ඇඳ පු‍ටු සුදු අතුරා අලංකාර කරන ලද්දේය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූහ.
ඒ කිරිහාමිට බොහොම හොඳ දවසෙකි. 'අනේ අම්මේ, ඉතින් ආයෙත් මෙහෙම දවසක් ලඟදී ඒදැ' යි කිරිහාමි නොයෙක් වර ඇසීය. 'ඇයි ඔබට හිර ගෙනෙන දා' යනු මවගේ පිළිතුරය.
කිරිහාමි වරක් කැවුම් තුබූ තැනට ගොස් ඉන් හත අටෙක රස බලයි. වරක් කිරිබත් කැටි කරන තැනට ගොස් ඉන් කැටි හත අටෙකට ඉඩ ගෙන දෙයි. 'කිරිබතේ ලුණු කිරි රස ඇද්ද, පුතේ ?' යි මව අසයි. අනේ, මා දන්නේ නෑ අම්මේ. ගුණ දොස් කිය කියා වැඩේ පාළු කරන්නට ආවා නොවෙයි මා' යි කියමින් කිරි හාමි තමාගේ කටයුත්තම කෙරෙයි.
දැන් ගෙය නෑදෑයන්ගෙන් පිරුණේය. බත් වේලාවද ලඟය. 'පුතේ, අනේ, හොඳ පුතා වගේ මේ අමුඩයත් කලයත් අරගෙන අර වෙලේ ලිඳට ගොහින් නාලා එන්න. අද මේ මඟුල් දවසේ හොඳට පිරිසිදු වී ඇඳගෙන ඉන්නට එපා යැ' යි මව කීවාය. වෙන දා මෙවන් කීමක් නොසැලකුවත් කැවුම් කිරිබතේ අනුහසින් කිරිහාමි කීකරු විය.
වෙලේ ලිඳ ලඟ කඹයක් නොවීය. කිරි හාමිට දිය ලණුවෙක්ද නොවීය. ඉතින් කෙසේ අමුඩ ගසන්නටද ? කෙසේ ලි‍ඳෙන් දිය අදින්නටද ? වෙලේ ලිඳ ලඟම දිග එළි කැර සිටිනා ගොනා දැක කිරි හාමි කඹය කණුවේ බැඳ කොන ලිහා ගත්තේය. අනෙක් කොන ගොනා ගේ කරේමය. කිරිහාමි කඹයේ මැද ඉණේ දවටාගෙන අමුඩය ගසාගත්තේ ය. කොන කලයේ බැඳ දිය ඇද ඇද නාන්නට විය.
මේ අතර ඒ අසලින් ගිය සඟ නමක් ඒ දැක 'මහ මෝඩයෙක් ! ගොනා කඹය ඇද්දොත් ?' යි කීයේය. ඵ් 'කඹය ඇද්දොත් ! එහෙනම් මා අද්දන්නෙ' යි කියමින් කිරිහාමි නෑවේය. 'කඹය ඇද්දොත්-
බිම පෙ‍රැළෙයි
කළය බි‍ඳෙයි
ගොනා දිවෙයි
වැඩ ගොඩ වෙයි
යනු කියමින් සඟ නම ගියේය.
වරක් කිරිහාමි දිය කළය හිසට ඔසවනු හා සමඟම කඹයේ තදය දැනී ගොනා හිස ගැස්සීය. එයින් පය ලිස්සා ගොස් කිරිහාමි ළිං පඩිය උඩ වැටී කළය මහ හඬින් කුඩු විය. ගොනා බිය ගෙන කිරිහාමිද ඇදගෙන දුවන්නට වන්නේය. ඒ නියරෙහි මේ නියරෙහි හැපීමෙන් කිරි හාමිට බොහෝ තුවාල විය. වේදනාව ඉවසා ගත නොහී හේ මර හඬ දෙන්නට විය. එහෙත් ගොනා නොනැවතීම දිව්වේය.
කිරිහාමිගේ මර හඬ ඇසී ගෙදර මිනිස්සු වහා දිව අවුත් කඹය කපා ඔහු ගලවා ගත්තෝය. නිදහස් වූ වහාම කිරි හාමි සඟ නම සොයා දුවන්නට වන්නේය. 'පුදුම හාමුදුරු කෙනෙක් ! මා වැටෙන බව, කළය බි‍ඳෙන බව, ගොනා දුවන බව කලින්ම කී හැටි' යි සිතමින් හේ පසු නොබලා දිව්වේය.
සඟ නම දු‍ටු තැනදී කිරිහාමි වැඳ වැ‍ටුනේය. අනේ හාමුදුරුවනේ, අර මා වැටෙන බව, කළය බි‍ඳෙන බව, ගොනා දුවන බව කලින්ම දැක්කේ දිවැසින්ද ?
'ඔව්'
'අනේ, එහෙනම් මා මැරෙන දවසත් කියන්න'
'හිසත් පයත් එක තරමට සීතල වුණු දා'

මෙසේ කියා සඟ නම ගියේය. මැරෙන දවස දැන ගතිමියි කියමින් කිරිහාමි ගෙදර ආයේය. ගෙදර කලබලය එයින් නැවතී මඟුලේ කටයුතු හොඳින් කැරුණේය.

*********************************

කියන්න යන්නේ ප්‍රාථමික පන්තියක ගුරුවරයෙකුට වෙච්ච ඇබද්දියක් ගැන කතාවක්.මේ කියන ගුරුවරයා අපේ ජාතික ඇදුම ඇඳලා පාසලට එන කෙනෙක්.
පාසල පිහිටලා තිබුනේ කොළඹට නුඳුරු තැනක.ඉතින් එදා දවසේ පාඩම තිබුනේ ගොවිතැන සම්බන්ධයෙන්.මේ පාසලේ ළමයි කුඹුරක් ඇහැටවත් දැකපු අය නෙමෙයි. 
ඉතින් අපේ කථා නායකයා මුල ඉදන්ම, හැම දේ ගැනම මේ ළමයින්ට කරුනු කියා දෙනවලු.ඔන්න පාඩමේ එක තැනකදි කියා දෙන්න උනාලු "අමුඩ ලේන්සුව" ගැන.  අමුඩ ලේන්සුව කියන්නේ ඉතින් අපේ ගොවි මහත්තුරු, දැන් අපේ පිරිමි කට්ටිය වගේ යටට ඇදපු ඇදුම.මේ අමුඩ ලේන්සුව පිටින් තමයි මේ අය කුඹුරු කෙටුවේ.වැදගත් ගමනක් එහෙම යනකොට ඇදුමට යටින්, යට ඇදුම විදියට මේක පාවිච්චි කලා.  අපේ ගුරුවරයත් මේ විදියට අමුඩ ලේන්සුව පාවිච්චි කරපු කෙනෙක්.ඉතින් පාඩම වෙලාවෙ ළමයින්ට මේ ගැන කියලා දීලා, මෙයා හිතුවා මේක ළමයි හැබැහින්ම දැක්කොත් හොදට පාඩම මතක හිටියි කියලා. 
ඉතින් මෙයා, "මේක තමයි ළමයිනේ අමුඩ ලේන්සුව කියන්නේ" කියලා,පාඩම අතරතුරේදි තමන්ගේ සරම උස්සලා පෙන්නුවා.  මේක දැකපු පන්තියේ ඔක්කොම පිරිමි ළමයි ටික කිව්වලු, "අයියෝ සර්, ඕක නන් අපිටත් තියෙනවා" කියලා.ගෑනු ළමයි ඔක්කොම තුෂ්නිම්භූත වෙලා බලන් ඉන්නවලු.අපේ ගුරුවරයටත් පුදුමලු මේ පන්තියෙ ඉන්න පිරිමි ළමයි ගැන,උන් කුඹුරක් දැක්කේ නැතුවට, අමුඩ ලේන්සුව දැකල තියෙනවා. හැබැයි ගෑනු ළමයින්ගේ වෙනස නම් මෙයාට ප්‍රශ්නයක්.ඉතින් එයා බැලුවලු මොකක් හරි අවුලක්වත් වෙලාද කියලා.අනේ කරුමයක මහත....  එදා අපේ ගුරුවරයාට, 

අමුඩ ලේන්සුව ඇඳන් එන්න අමතක වෙලා !!!

*****************


No comments:

Post a Comment