"වැහි බලි" පූජා යාතුකර්මය



අපේ ගොවිතැන හා බැඳුණු අභිචාරි ක්‍රියා රාශියක්‌ පවතී. කෙම් පහන්, බාරහාර, කිරි ඉතුරුම්, මුට්‌ටි නැමුම්, කරල්, පැන්, පෙරහැරවල් වැහි පිරිත්, ගම්මඩු, පහන් මඩු, පොරපොල් හා අංකෙළි, සොකරි හා කොහොඹා කන්කාරිය ආදී තවත් දේ ඊට අයත්ය. මේ අතර තිබූ සුවිශේෂී පූජාවකි "වැහි බලිය". අද එය අප අතරින් ගිලිහී යට පත්වී ඇත. මේ වන විට "වැහි බලියක්‌" දැකීම තබා අසා දැන ගැනීමටවත් කෙනෙකු සොයා ගැනීම විරලය.

වැහිබලි යාගය කර ඇත්තේ නියං සායවැදී ගහ කොළ සතා සිව් පාවුන් මියෑදෙන විට ඒ හැම ගලවා ගැනීමටයි. යාගයෙන් වැහි වරුෂාව ලැබී ඒ සියල්ල ප්‍රාණ පිහිටුවයි. වියළි දේශගුණයට අයත් රජරට නුවර කලාවියේද, රාජ වන්නිහත්පත්තුවේද, හත් කෝරළේ සමහර ගම් වලද බැහි බලියාගය තිබූ බව කියවේ. දේශීය ශාන්ති කර්මවලදී නවග්‍රහ අපල, උපද්‍රව, ලෙඩදුක්‌ නිවාරණය පිණිස බලියාග කරති. උඩරට, පහතරට හා සබරගමු යන සම්ප්‍රදායන් තුනේම මීට මූලිකත්වය ලැබේ. අත් බලි, මහ බලි ලෙසින්ද, ඇතුල් පන්තියේ හා පිට පන්ති ලෙසින්ද, බලියාග වෙන් කර ගනී. පොත පතේ හා කටබහ විචාරයේදී නව ගැබේ, අසු ගැබේ, මහ සොහොන්, රතඟ රාක්‍ෂ, අසුර, දේව, කල්‍යාණී, ආදී ලෙසින් ඒවා දැක්‌වෙයි. තවද නක්‍ෂත්‍රබලි, නරබලි, චක්‍රබලි, අටක්‍ෂෙ බලි, පිසසුන් බලි වශයෙන් පන්තිස්‌ බලියාග තොරතුරු ඇත. මේ කිසිදු තැනක "වැහිබලය" විස්‌තර නොවේ. ඒ නිසාම මෙය සුවශේෂී භාවයට පත්ව ඇත. මේ ගැන ගොවි කමේ යෙදුණු අපේ පැරැණි වරිගක්‌කාරයන් කටබහ ක්‍රමයට ඊළඟ පරපුරට කාරණාව කියාදී උරුමය තහවුරු කර ඇත.

අපටද එබඳු අවස්‌ථා කීපයකටම සහභාගිවීමේ වාසනාව උදාවිය. නවසිය පනහ දශකයේ ජීවත් වූ තෝරුවැවේ කිවිවර සමරකෝන් ලේකම් අත්තා කියාදුන් කෝල්මුර කාව්‍ය "වැහි බලියේ" හැටි සුබාව මෙසේ කියවිණි.

"අහල ගං හතක ගවයෝ නැති වෙච්චී
පහළ වැවේ දිය පතුලට හිඳිච්චී
ඉහළ දෙවියන්ට මඩිතිය කැවෙච්චී
අපල දෝස "වැහි බලියෙන් ගෙවිච්චී"


වැහි බලිය නම නියම වී ක්‍රියාවට නැඟුණේ ගම්මු අතින්මය. මීට විශේෂ බලි ඇදුරන් නොමැත. එසේම අනෙකුත් බලිවලදී මෙන් පීඩාවට පත් ආතුරයන් ද නැත. වැහිඵල හිඟවී පීඩාවට පත්වන විට ගම් ප්‍රධාන ගමරාළ ඇත්තෝ ගමේ කපුරාළ ද කැටිව ගමේ සංහිදට නැත්නම් ගමට අයත් වන්නාවූ දේවාලයට යති. එතැන වැඩ වසන දෙවියන්ට, ගැත්තන්, ගහ කොළ. සතා සිව්පාවුන්, වැව් කුඩ මසුන් නියඟයෙන් විනාශ වී ඇති සැටි නොපෙනේදැයි පලිගසා යතිකාවෙයි. දුම්මල කීරක්‌, හඳුන්කූරක්‌, මලක්‌ පුදා ගැනීමට නොහැකි තරමට තමුන් අතමිට හිඟවී වියළී විනාශවී බොහෝ අසරණ වී ඇති බවද කියයි. දෙවියෝ මැදිහත්ව "වැහිගම් පල" මුත්තාට කියා වරුෂාව ලබාදුන මැනවයි ඉල්ලා සිටී. එසේ නොකළොත් ගම්මු පෙරට පැන කෝපවී "වැහිබලි" සූදානම් කරාවි යයි යාතිකා අඳෝනාවෙන්ම පවසති. එසේ වුවහොත් මහත් ලඡ්ජාවකට මූණ පාන්නට වේ යයි කපුතැන දුක කියාපායි. මෙය කෙම්මුර දිනක සිදුකරයි. ඊළඟ කෙම්මුර දිනයට මත්තෙන් මහත්වූ මහ දෙවියන්ගේ කරුණාව ලැබ වරුෂාව ලබා දෙන්නැයි ආයාචනා කරයි. ඇති වී තිබෙන දුර්භික්‍ෂය කියා පෑමටම පහන් වෙනුවට වැව් දිය මඩිතියේ මියෑදී වේළුන පෙති කුඩ මසකුගේ ඔළුවක්‌, කැකුණ ගෙඩියක්‌, දල්වයි. හරිත වර්ණ කොළ අත්තක්‌ වෙනුවට වියළී කණාටුවී ගිය පඬරැලක්‌ එල්ලා බාති. මේ කාරිය ගමරාළ හා කපු තැනට පමණක්‌ සීමාවූ රහසක්‌ව රැක ගනී. කෙම්මුරයක නිල කාලය තුළදී වැසි ලැබුණොත් "වැහි බලි" නාරිති. රහස ගම්මුන්ට ගමරාළ හෙළි කරයි. පසුව සියලු දෙනා එක්‌ව බලි පූජාව කරති. ගමේ දේවාලයේ ඇති සියලුම දේව රූප වාඡ්ජං (වාද්‍ය) කීම (කෝල්මුරකවි) ඇතිව එළියට වඩම්මයි. වරුෂා දියෙන්ම නාවා දෙවොලේ තැන්පත් කරයි. ගමේ දෙවි, අයියනා, පුල්ලෙයාර්, කඩවර, කම්බිලි, දේව පස්‌ කට්‌ටුද බහිරව ඉලන්දාරි, කළු දේවතාදී හත්කට්‌ටුවද, මදුරු වසන්ගත වළකන පත්තිණි මෑණි හා කාලිවරියන්ද සිහිපත් කර බුලත්, මල්, යහන් තබයි. මීට අමතරව ඒ ඒ වැව්වලට විශේෂිත වූ (මින්නේරි, මහසෙන්, කලා කඩවර, හුරුලුමහ දෙවි) දෙවියන් ඇත්නම් උන් වහන්සේලාටද බුලත් මල් යහන් තබයි. දේව වරුණා ගයයි. අනතුරුව වැව් පිරී ගොවි තැන සරු සාරව, අස්‌වනු නෙළීමෙන් පසුව ඒ ඒ දෙවියන් උදෙසා කරන සියලු උපහාර පූජාවෝ, පෙරහැර කරන බවට කැප පඬුරු ගැට ගසා "පෙරබලි පූජාව" අවසන් කරති.

නිල කාලයේදී වැසි නොලැබුණහොත් "වැහි බලි යාගයම" කරති. මේ ගැන තොරතුරු ගැමි ජනඥනය ගැන විමසමින් නුවර කලාවියේ උතුරු දිග් භාගයේ තම්මැන්නා දිය තිත්තෑව හා නොච්චියාගම පදෙසට ගිය ගමනේදී ලැබිණි. රජරට ගුවන් විදුලි සේවාවේ එවකට සේවයේ නියුතුව සිටි හසල විද්වතකු, සාහිත්‍ය ධරයකු ජන පර්යේෂකයකු වූ ස්‌වර්ණ ශ්‍රී බණ්‌ඩාර සිරිමතුන් මේ කාරිනාවේ උපස්‌තම්භක විය. එසේම මේ හා සමාන කථිකාවක්‌ නුවර කලාවියේ (කහඟල) කොස්‌සෝගම ගමේ විසූ අප්පුවා උන්දැ කියාදුන් දේව වරුණාවකදී ද නවසිය පනහේ දශකයේදී කියෑවිණි.

සුද්ද ලෙසට අඩුක්‌කු ගති මේ ගමේ මහ දෙයියෝ
නින්ද ගමේවන් විපතට පිටුපෑවද දෙයියෝ
බද්ද රාළ අමුඩ කොටේ ගලවාගෙන අයියෝ
සද්ද නොකර වහං වුණයි "වැහිගම්පල" දෙයියෝ


මේ සෑම තොරතුරකින්ම වැහි බලිය ඇදුරන්, ආතුරයන් නැති දෙවියන් අවඥවට, ලඡ්ජාවට පත් කරවන කිරියා සපිරි එකක්‌ බව පෙනේ. බලි රූප වෙනම ඇඹීමක්‌ නැත. බලිය නම නියම කරන්නේ ගමරාළ හා කපුවා විසින්ය. දිනය අටවක වැනි අඬ අඳුර හා තරු එළි ඇති කෙම්මුර දිනකි. ඇදුරන් වන්නේ ගම් හිමි පංගුකාර ඇත්තෝය. බලි බැලීමට ස්‌ත්‍රීන්ට හා දරුවන්ට තහංචිය. බලියාගය කරන්නේ රාත්‍රි තිස්‌පැය පමණි. බලියාග කීම, කවි, කොල්මුර හා යතිකාවල් පමණි. නැටුම්වල තාල රිද්ම, ලාලිත්‍ය නැත. ඒවා බහුරු කෝලම්ය. කියවෙන කවි රාගත් දෙවියන් අපහාසයට, උපහාසයට, ලඡ්ජාවට පත් කරවන ඒවාය. ඒ හැම කාව්‍යයක්‌ම අසභ්‍ය, අශ්ලීල, අශෝබන වචනවලින් පිරී ඇත. හිතු හිතු මතේට ශබ්ද තාල නාදර කරති, උඩැක්‌කි, බෙර, තාලම් වජුමිණිද, පොල් කටු, තඹ තැටි කැබලි, බෙලෙක්‌ක, උණ බට, කළගෙඩි, ලෑලි පුවරු, ආදියෙන්ද ශබ්ද නැඟීය. උරහන් බෑම්, අත්පොඩි ගැහුම්, කටේ ඇඟිලි දමා හූ කීම්ද සිදුවිය. වැහි බලියේ කියවුණු කවි කටබහේ මිසක පොතක පතක නොමැත්තේ මේ නොසරුප් බව නිසාමයි. මේ තැන අසික්‌කිත සොබාවය නිසාම පටිගත කරගත් කාව්‍යයන් රජරට සේවයේ තැටි ගබඩාවේ කෞතුක වටිනාකමට පමණක්‌ තැන්පත්ව පවතී. කිසිදිනක ප්‍රචාරය සඳහා නොගත යුතු යෑයි හඬ පටියේම සටහන් කර ඇත.

කලාගම් පහළොස්‌ පත්තුවේ නමගිය බලි ඇදුරකු වූ ලංකා විරුදුවා යෑයි පටබැඳි සම්මාන ලැබූ කහකුඩුවා අත්තා අසූවියේදි කළ විස්‌තරයද මීට සමානය. කාරියේ සුබාය රහසිගතය. වැහි වරුෂා නැතිව අකම් පාවට පත් ගම්මු ගමරාළ හා කපුවා රහසේ එක්‌තැන් කරති. පසුව දිනයක්‌ නියම කරයි. බිරින්දෑවරුන්ට හා දරුවන්ට නොකියාම මහරාත්තිරියේම ගෙවල් වලින් පිටතට පැමිණෙයි. පෙර සඳහන්කළ ලෙසම සංහිද, (දේවාලය) ආසන්නටය ගොස්‌ සියලුම දෙනා ඇඳිවත්, ඇඳුම් උනා ගලවා නිරිවස්‌ත්‍ර වෙති. මේ ටික සමහර ප්‍රදේශවල නොකරති. අමුඩය හෝ කොල අතු කැබැල්ලකින් විලි වසා ගනී. මේනිසා වැහි බලියට "හෙළු වැලි බලිය" යෑයි තවත් නමක්‌ ලැබී ඇත. මෙතැන් සිට නොයෙකුත් භාණ්‌ඩවලින් ශබ්ද නොසරුප් කවි, යාතිකා කියයි. නැටුම් නටයි. මේ යාගය එකම ඝෝෂාවක්‌ ලෙසින් මුළුගම් ප්‍රදේශයටම ඇසෙයි. දේවරූප කඹ, වැල් ආදියෙන් ගැට ගසාගෙන බිම දිගේ ඇදගෙන වැව් සිඳී ගිය මඩ කඩිත්තටම පෙරහැරින් යති. මඩේ දමා පාගයි. නැවත වැව් බැම්මට ඇඳ ඒ රූප මතම මඩ, මැටි, වලින් බලි රූප අඹා දේවරූප යටපත් කරයි. සිරුරේ අඟ පසඟ විකෘතිව දක්‌වා අපහාස කරයි. නානා ප්‍රකාර ප්‍රබන්ධකම් කියමින් වරුෂාව නුදුන් නිසා මේ දේ සිදුවුණා යෑයි නටයි.

මලේ බඹුරු ලෙස පිරිවර ලැබුණයි පෙර කාලේ
ජලේ ගසා පීනා යති නාඹරයන් එකලේ
බලේ කොයිද වළං තැලිව හිඳිලා වැව් පතුලේ
කුලේ බලය නහගත්තයි "වැහි ගම්පල" රාළේ


මේ ශබ්දයට ගමෙන් නාව පිරිමිද පැමිණ එකතුවෙත්. මෙතැනදී දේවරූපවලට අඩුක්‌කු ලෙස (පිදවිලි ලෙසින්) හුඹස්‌ මැටි, පොල්කුඩු ගුලි, තෙල් හිඳුවා ඉතිරිවූ රොඩු (මුරුවට) තබයි. මෙතැන ආලෝකයට ගිනි කොටයක්‌ දල්වාගන්නා මිස පහන් ආලෝක නොමැත. එළිවෙන යාමය තෙක්‌ම මේ විකෘති බලි යාගය පවතී. ඇටි කුකුළා බුක්‌ගන්ට පැයක්‌ තියා කපුරාළ යාතිකාවට එයි. දෙවියන්ට ඌ මේ ලඡ්ජාව හුවා දක්‌වමින් මින් මිදෙන තුරුම දේවකාරියන්ට නැවත තමාට පැමිණිය නොහැකි බවට දුක්‌ අඳෝනා කියයි. අලුත් වරුෂාව ලබාගෙන දේවරූපවල මඩ සෝදාහැර ගන්නා තුරුම මේ තැන්වලින් දෙවියන් නොසොල්වන බවද කියයි. ඒ දක්‌වාම මිනිස්‌සු ගැහැනු, සතා සිව්පාවුන් දෙවියන් උඩින් පැන කුණු කිළි ඇති කරතැයි කපුරාළ යාතිකාවේ හඬා වැටෙයි. මින් මිදීමට දෙවියෝ කටයුතු කරනු ඒකාන්ත යෑයි දේව ගැති කපු උන්දැම කියවා සහතික වෙයි. අනතුරුව සියලු දෙනාම උනුන් අතරවත් කතා නොකරම දෙවොල (සංහිඳ) ළඟට ගොස්‌ උනා දැමූ ඇඳුම් ඇඳගෙන නිවෙස්‌වලට යති. නැවත ඔවුන් හමු වුවද ගමේ මීට සහභාගි නොවූ කෙනෙකු මුණ ගැසුනද, මේ කිසිවක්‌ ගැන කතා නොකරති. මෙය රහසක්‌ව රකිති. දිවා කාලේ වැව් බැම්මේ තැන් තැන්වල විකෘති කොට මඩ නාවා ඇති දේවරූප දකින ඇත්තෝ වැහිබලි, හෙළුවැලි බිලි පූජාවක්‌ කර ඇති බව තේරුම් ගනී. නමුත් ඔවුන් මේවා සේදීම තබා සෙලවීමටවත් නොසිතයි. මෙය කෙම් කිරියාවකි. ලඡ්ජාවට පත් දෙවියන්ම වැස්‌ස වළාහක දෙවියන්ට වග සැල කර මඩ හෝදා ගන්නා බව විශ්වාසයයි.

තුන් දින හැට පැය පසු නොබලන් ඥයි
තැන් තැන් වල හෙණ හඬ පිපිරෙන් ඥයි
පින් ඇති දෙවි රුව හෝදා ලන් ඥයි
පැන් පේකර දෙවියන් වැඩමන් ඥයි


දේව සභාවේ කතා බහ ඝෝෂාව විදුලි කොටා අහස ගුරුබා ගෙරවීමයි. ඒ සමගම වැසි වැටෙත්. මඩ සේදී දේවරූ කල එළි දකී. මේ වන විට ගම්මු සියලු දෙනාම එකතුවෙති. වැස්‌සෙන් සේදී ගිය දේවරූ හඳුන් කිරි පැණියෙන් නාවා ප්‍රාණ පිහිටුවයි. පසුව නාණු මුර මංගල්ලාව කරති. වැව් බැම්මේ සිට කිලිsකුණු අරවා, පංචතූර්ය නාද වාඡ්ජන් ඇතිව, උඩුවියන් අල්ලා පාවාඩ දමා වැහි පිටම පෙරහැරෙන් දෙවොලට, දේවරූ මැඩමවති. දේව වරුණා, ගායනා කර අනාභරණ පලිප්පු දමා ගුහාලයේ තබති. ඉදිරි කන්නය වැහි වරුෂාවෙන් සරුවී අඳ ආදායම් ගත්පසු කෙරෙන මංගල්ල හා පෙරහැරවල් ද ඉටු කරන්නටත් මේ යාගයටම හිලව්වට මුට්‌ටි නැවුම් මහමංගල්ලේ කරන බවටත් යාතිකා පඬුර බැඳීමෙන් වැහි බලිය අවසන් වේ.

දෙවියන් වඩම්මන පෙරහැරේදී මහ වරුෂාවට පැන තෙමෙමින් කොල්ලන් වැහි ගම්පල දෙවියන්ට කවි කියා නටා උපහාර කළේ මේ කව්ද කියමින්ය.

වැහැපං දෙයියා කහපන් දෙඤ්ඤං
දොරකඩ පොල්ගහනින්දෙම දෙඤ්ඤං
හාංඩ මීගොන් බානක්‌ දෙඤ්ඤං
තනිකඩ අක්‌කා දීගෙට දෙඤ්ඤං


මේ කවි ගායනයට පෙර බලියෙන් අමනාප වූ දෙවියන් බොහෝ සේ සතුටුවී වරුෂාව (තද) වැඩිවේ යෑයි විශ්වාස කරති. වැහි බලිය දේව කෝපය තුළින් තම අවශ්‍යතා ඉටුකර ගත් කෙම් ක්‍රමයකි. චර්යා රටාවකි.

ඒ.පී.බී. ඉලංගසිංහ‍

No comments:

Post a Comment